top of page

ලෝකය තුළ සිටියත් ලෝකාකාර නොවන කිතුනුවා හා සංස්කෘතිය

(Even though you’re in the world, not being of the world and its culture)


By නාලක ද සොයිසා

ශ‍්‍රී ලංකාව, ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රේෂ්ඨ ජාතියකි. ඉපැරණි ඉතිහාසයක් සමඟම ඒ හා බැඳුණු නොයෙකුත් සංස්කෘතිමය සාහිත්‍යමය, විශ්වාසයන් හා ඇදිහිලි ක‍්‍රම ද එමටය. ශත වර්ෂ ගණනාවක් තුළ අපටම අනන්‍ය වූ ඉපැරණි ලේඛන, ගෘහ නිර්මාණ ශිල්පය, ඒ හා බැඳුණු පැරැණි මත හා විශ්වාසයන් සමාජය තුල ගැඹුරට ගමන් කොට ඇත. වර්තමානය තුළ වුවද, එකී ඉතිහාසමය කාරණාවන් ගැන ආඩම්බර වීම හා ඒවා රැක ගැනීම ගැන පුළුල් කතිකාවතක් ඇත.


මේ සියල්ල හමුවේ වර්තමානයේ කිතුනු ඇදහිලිවන්තයාට, බැලූ බැල්මට මුහුණදීමට ඇති සමාජමය ගැටළු රාශියකි. බොහෝවිට වෙනත් ආගමික හා සංස්කෘතික පසුබිම් වලින් ක‍්‍රිස්තුස්වහන්සේ වෙතට ඇදහිල්ලෙන් යොමුවන කිතුනුවා, අලූත් ගමනක් ඔහුගේ ජීවිතය ආරම්භ කරයි. මෙතෙක් කල් තමා තුළ මුල්බැස ඇති ආගමික, සංස්කෘතික හා සමාජයීය මත සමඟ, තමා ගණුදෙනු කරන්නේ කෙසේද යන පැනයට බොහෝ කිතුනුවන් සාර්ථකව මුහුණ නොදෙයි. ආගමික විශ්වාසයන් අතර ඇති වෙනස්කම් බොහෝ වෙලාවට පුද්ගලයන්ට පහසුවෙන් වෙන් කර ගත හැකි වේ. තමන්ගේ විශ්වාසයන් ගැන වඩාත් ගැඹුරින් හදාරා මෙය ඉතා පැහැදිලිව වෙන්කර ගත හැකි කාරණා වේ. නමුත් තම ජීවිතය හා බැඳුණු සංස්කෘතික හා පාරම්පරික අංගයන්, බොහෝවිට එහි ගැඹුරු පදනම නිර්ණය කරගත නොහැකි බැවින්, ඒ පිළිබඳව බොහෝ මත ගැටුම් ඇත.


සමාජීය, සංස්කෘතික හා පාරම්පරික විශ්වාසයන් සමඟ කිතුනුවන් ගනුදෙනු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව, දේව වචනය ඇසුරෙන් විගමනයකට එළඹීම අතිශයින්ම ප‍්‍රයෝජනවත් වේ. ලෝකය හා සමාජය සමඟ මුහු වීමේදී කිතුනුවන් ලෙස අපගේ සිට ගැනීම කුමක් විය යුතු දැයි අප දැන සිටීම වැදගත් වේ. රෝම 12:2 හී පවසන පරිදි


”එනම් ලෝකය සමඟ අප ගනුදෙනු කලත් එහි ඇති අහිතකර ස්වභාවය සමඟ අපට මුහු විය නොහැක. එයට අපට බලපෑමක් ඇති කිරීමට ද ඉඩ දිය නොහැක.”


යොහාන් 17:15 - ඔබ ලෝකයෙන් ඔවුන් අහක්කරන පිණිස නොව, නපුරාගෙන් ඔවුන් ආරක්ෂාකරන පිණිස යාච්ඤාකරමි


යේසුස්වහන්සේ තම ගෝලයන් ගැන මෙම යාච්ඤාව කළේ ඔවුන්ව ලෝකෙන් ඉවත් කරන පිණිස නොව, ලෝකයේ සිටින නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන ලෙස ඉල්ලමිනි. මේ තුළින් අපට පැහැදිලි වන දෙයක් නම් කිතුනුවන් ලෙස සමාජය ක‍්‍රියාකාරකම් වලින් ඈත්වීම හෝ ආශ‍්‍රයෙන් දුරස් වීම නොකල යුතු බවයි. ඒ වෙනුවට සමාජයත් සමඟ සිටිමින් අප ගිය සීමාවන් තුළ ගමන් කිරීම ඥානාන්විත වේ. අපගේ සීමාවන් නිර්ණය කිරීමට පහත කාරණා ඔබට උපකාරී වනු ඇත.


  • දේව වචනය තුළ ප‍්‍රතික්ෂේප කර ඇති දේ පැහැදිලිව අවබෝධ කරගන්න.

සංස්කෘතියේ නාමයෙන් හෝ පාරම්පරික විශ්වාසයන්ගෙන් ආමෙන් අපට දෙවියන්වහන්සේ ප‍්‍රතික්ෂේප කර ඇති දේ කළ නොහැක. ඒ වෙනුවෙන් සිට ගැනීමට සෑම කිතුණුවෙක් තුළම ශක්තිය තිබිය යුතුය.


  • එම අදාල සංස්කෘතික අංග අංගය/විශ්වාසය ගැන සොයා බලන්න.

බොහෝ දෙනා බහුතර සමාජීය කාරණා ප‍්‍රතික්ෂේප කරන්නෙ ඒ ගැන හරි අවබෝධයෙන් නොවේ. එය තව කෙනෙකුගේ ඉගැන්වීම් මත හෝ අන් අය දරන අදහස් මත ඇතිකරගත් අවබෝධයකි. එම නිසා යම් අංගයක් පැවැත්විමට හේතුව, එය පවත්වන ආකාරය, එහි ස්වභාවය ආදිය දැන ගැනීම වැදගත්ය.


  • වැදගත්කමක් නොමැති දේවල් ගැන තර්ක නොකරන්න.

දේව දරුවන් ද අපගේ වටිනාකම් හා විශ්වාසයන් ලෝකයට වඩා වෙනස් වේ. එබැවින් ඔබ ඔබගේ විශ්වාසයන්ට එරෙහි අංගයන් වලට සහභාගි නොවන විට සමාජයෙන් මෙන්ම සැබෑ කිතුනුවගෙන්ද විරෝධයක් එල්ල විය හැක. එවැනි අවස්ථාවන් වල දී ප‍්‍රති උත්තර බැඳීම දීර්ඝ ලෙස ඇදී ගොස් තර්ක විතර්ක දක්වා වර්ධනය වීමට ඉඩ නොදෙන්න.


රෝම 14:10 එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චයකරන්නේ මක්නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නෙහිද? මක්නිසාද අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව.


එසේ නම් අප මෙවැනි සංස්කෘතිමය හෝ පාරම්පරික අංග සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේද? ප‍්‍රථමයෙන්ම කිසිදු අංගයක් හෙවත් චාරිත්‍රයක්, එම පුද්ගලයන් ඉදිරියේ එයට අගෞරවය නොකරන්න. මන්ද එසේ කිරීම සත්‍යයට ඔවුන්ගේ ඇස් විවෘත වීම දීර්ඝ කාලයකට වලක්වයි. එම නිසා කිසිදු අංගයකට, උත්සවයකට, වැඩසටහනකට, අගෞරවය නොකරන්න.


දෙවනුව ඕනෑම අංගයක ඇති යහපත් කාරණා ඒත්තු ගන්න, ඒවාට සම්බන්ධ වන්න. උදාහරණයක් ලෙස සිංහල හින්දු අලූත් අවුරුද්ද තුළ, නැකත් බැලීම ඉවත් කළහොත්, අපට පංගුකාර කම් දැක්විය හැකි බොහෝ අංග ඇත. එම නිසා එකඟ විය නොහැකිද නවිය නොහැකි දේ ඉවත් කර සුදුසු දෙය සමඟ පංගුකාරකම් දක්වන්න.


තෙවනුව එකී වැඩසටහන් වලට අනුරූපී, කිතුනු වටිනාකම් එළි දැක්විය හැකි අංගයන් අලූතෙන් නිර්මාණය කරන්න. නිදසුනක් ලෙස “හැලෝවීන්” සැමරීම බොහෝ කිතුනුවන් ප‍්‍රතික්ෂේප කරයි. නමුත් එවැනි සැමරුම්වලට සමාජයෙන් ඇඳ බැඳ තබා ගෙන ඇති පිරිස් එයින් ඉවත් කරගන්නේ කෙසේද? හොඳම ක‍්‍රමය නම් එදිනම ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඇති නිදහස හා ආලෝකය පිළිබිඹු කරන, ඊට අනුරූපී කිතුනු අංගයක් සැලසුම් කිරීමයි. මෙය තුල ඔබට ලෝකය මුදවා ගත හැක.


එපීස 5:15,16,17 -15 ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප‍්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, 16 දවස් නපුරු බැවින් ප‍්‍රස්තාව අල්ලාගන්න. 17 මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.


කිතුනුවන්, ලෙස අපි සමාජයෙන් ලෝකෙන්, ප‍්‍රතික්ෂේප විය යුතු නැත. අපි ලෝකයේ ලූණු හා ආලෝකය වීමට නම් සමාජය සමඟ මුහු විය යුතුය. එසේ කිරීමේදී, අපගේ සීමාවන් නිවැරදිව දැනගෙන, සහභාගිත්වය දැක්වීමට අපි කටයුතු කර කළ යුත්තෙමු.


මේ සඳහා දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව හා මගපෙන්වීම ඔබ සියලූ දෙනාටම ලැබෙතැයි මම යාච්ඤා කරමි.

28 views

Support this cause

bottom of page